Friday, June 27, 2008

දඩිං බිඩිං ඩෝං

සුදර්ශන ගුණවර්ධන

පසුගිය සඳුදා ලාංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් සිදුවිය. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන සබරගමුව පලාත් සභා මැතිවරණයේදී තම මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් ඡන්දයට තරග නොකරන බව ප්‍රකාශ කිරීමයි.

ලංකාවේ එක් එක් මාධ්‍ය පළ කරන්නේ තමන්ට අවශ්‍ය කෑල්ල බැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණයෙන්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. එහෙත්,

1. එක්කෝ සන්නස්ගල මහතා තරග කිරීමට කළින් කැමැත්ත පළකර, පසුව යු. ඇන්. පී.ය ඇන්නවීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා අස්වීම හෝ
2. නැත්නම් සන්නස්ගල මහතාගේ කිසිම අනුදැනුමක් නැතිව යූ. ඇන්. පි. ය ඔහුගේ නම යෝජනා කර ඇති අතර ඒ හේතුව නිසා ඔහු ඉල්ලා අස්වීම.

යන කරුණු දෙකෙන් එකක් මේ සඳහා බලපාන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. මේ දෙකෙන් කෝක වූවත් එයින් පෙනෙන්නේ ඊළඟට ආණ්ඩු බලය ගන්නට බලාපොරොත්තුවෙන් සිටින යූ. ඇන්. පි. යේ බංකොලොත් භාවයයි. ලංකා ඉතිහාසයේ සමහර විට පළමු වතාවට පක්ෂයක් පුද්ගලයෙකු ඉදිරියේ නීච වී ඇති අතර සන්නස්ගල මහතා ප්‍රධාන පක්ෂ දෙකමත්, රත්නපුරේ දේශපාලකයනුත්, මහ ඇමති ධූරයත් ඇති පදම් කෝචොක් කර ඇත. සන්නස්ගල වැනි ජෝකර් මහත්වරුන්ට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ජෝක් කිරීමට හැකියාව ලැබීම අහඹු සිදුවීමක් නොවේ. එබැවින් එහෙම වෙන්නෙ ඇයි කියා ප්‍රශ්න කිරීම අනාගත දේශපාලනයටත්, ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමයටත් සුබදායක වනු ඇත. අපි පැරණි කතාවක් විමසා බලමු. 1977 මැතිවරණයේදී විපක්ෂ නායක වශයෙන් මැතිවරණය මෙහෙයවූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. එවකට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ සමහර හිතවතුන් ජයවර්ධන මහතාට සහය පිණිස ඔහුගේ වේදිකාවට ගොඩවිය. ඔවුන්ට අවශ්‍ය වූයේ පැජරෝ ලබාගැනීමට නොව සිරගතව සිටින තම නායකත්වය නව රජයක් යටතේ නිදහස් කර ගැනීමය. ජයවර්ධන මහතාද සිටින වේදිකාවක ජනතාව ඇමතූ ජ. වි. පෙ. සගයෙක් කියා සිටියේ අප මේ මොහොතේ යූ. ඇන්. පී. යට උදව් කළත් ඔවුන්ද රටට අහිතකර මාර්ගයක ගියහොත් නැවත වතාවක් ආයුධ ගෙන කැරළි ගසන බවයි. ජේ. ආර්. ගේ කතා වාරය එළැඹිණි. ඔහු මෙසේ කීවේය. ‘ඒ කළින් කතා කළ මහත්තයා කිව්වා අපේ ආණ්ඩුවක් යටතේත් කැරළි ගහනවා කියලා. මම ඒ මහත්තයට කියන්න කැමතියි හැංගෙන්න දැන්මම ගල් ගුහාවක් ලෑස්ති කරගන්න කියලා.’’ ජේ. ආර්. 5/6 ක බලයක් සහිතව මැතිවරණය ජයග්‍රහණය කළේය. තමන්ට කොතරම් පාඩු සිදුවුණත් තමන්ගේ වේදිකාවේ සිට තමන්ට චන්ඩි පාට් දැමීමට ඉඩ නොදීමට තරම් ධෛර්යයක් ජේ. ආර්. ට තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන විට ඔහු සිටියේ තම ප්‍රතිවාදී අපේක්ෂක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වඩා අවාසිදායක තත්ත්වයකය. ලංකා ඉතිහාසයේ තේරී පත්වූ සෑම විධායක ජනාධිපතිවරයෙකුම එසේ පත්වූයේ අගමැති ධූරය දරමින් බවත් කිසිදු විපක්ෂ නායකයෙකු විපක්ෂ නායක පුටුවේ සිට ජනාධිපතිධූරයට පත්වී නැති බවත් යන මිත්‍යා විශ්වාසය හැරුණු විට බමරය කැරකුනේ සෑම අතින්ම රනිල්ගේ පැත්තටය.

1. රනිල්ට පක්ෂ නායකත්වය හිමිව තිබුණු අතර මහින්දට පක්ෂ නායකත්වය හිමි නොවීය.
2. රනිල්ට ජාත්‍යන්තර ප්‍රජාවෙහි ආශිර්වාදය හිමි වූ අතර මහින්ද එම ක්ෂේත්‍රයට අමුත්තෙකු විය.
3. රනිල්ට සුළුතර ජාතික හා සුළුතර ආගමික ජන කොටස් වලත් සුළුතර ජාතික පක්ෂ වලත් සහය හිමිවූ අතර මහින්ද කෙරෙහි සුඵතර පක්ෂවල විශ්වාසයක් නොතිබිණි.
4. රනිල්ට ව්‍යාපාරික ප්‍රජාවේ හා පෞද්ගලික මාධ්‍යවල සහයෝගය නොඅඩුව ලැබුණු අතර මහින්දට ඔවුන් අතර විශ්වාසයක් නොතිබිණි.

රනිල් තරගයට මුහුන දුන්නේ සෑහෙන විශ්වාසනීය බවකින් යුක්තවය. ඔහු වෙළඳපොල ආර්ථිකය ඉදිරියට ගෙනයෑම හා ජාතික ප්‍රශ්නයට ෆෙඩරල් මාදිලියේ විසඳුමක් ලබාදීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. බොරුවට හෝ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණ, ෆෙඩරල් ප්‍රතිපත්තිය ඉවතට දමන්නේ නම් තම සහය ලබාදෙන බවට ප්‍රකාශ කළ ජාතික හෙළ උරුම පක්ෂයේ සහයෝගය ප්‍රතික්ෂේප කළේය. නිල නොවන ආරංචි මාර්ග අනුව තමන් බලයට පත්වුවහොත් අන්තර්වාර ස්වයංපාලන අධිකාරියක් උතුරු නැ‍ෙඟනහිර පළාත සඳහා ලබාදෙන ලෙසට එල්. ටී. ටී. ඊ ය කළ යෝජනාවද ප්‍රතික්ෂේප කළේය. මීට පටහැනිව මහින්ද තම මැතිවරණ ව්‍යාපාරය ඇරඹුවේ අවිනිශ්චිත භාවයකිනි. ආණ්ඩුව තුළ සිටි එළෙව්වත් නොයන පරණ සම සමාජ, කොමියුනිස්ට් පක්ෂවල සහය ඔහුට කොහොමත් ලැබිණි. (අනේ ඔවුන් මේ නහින දෙහින කාලයේ වෙන කොහේ කියල යන්නද ? ආණ්ඩුවෙන් පිට සිටි රැඩිකල් වාමාංශිකයා වූ වාසුදේව නානායක්කාර මහතා පැරණි මිත්‍රකම මත ඔහුට සහය දුන්නේය. වෘත්තීය සමිති නායකයන්ටත්, මාධ්‍යවේදීන්ටත්, සමහර එන්. ජී. ඕ. නායකයන්ටත් මහින්ද ලොකු අයියා කෙනෙකු සේ සැළකුන හෙයින් ඔවුනක්ගේ සහයෝගය මහින්ද වෙත විය. නමුත් මේ පදනම මත ඡන්දය දිනීම අපහසු බව දන්නා තෙම්පරාදු වූ දේශපාලකයෙකු වූ මහින්ද ජනතා විමුක්ති පෙරමුණ සමඟද ගිවිසුමක් ගැසුවේය. මේ වන විට යන එන මං නැතිව සිටි හෙළ උරුමය තමන් වෙත පැමිණි පසු ඔවුන් සමඟද ගිවිසුමක් ගැසූ ඔහු මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය ( ? )ද එකතු කර ගත්තේය.

ජාතිවාදයට විරුද්ධ වීම තම එකම අනන්‍යතාවය බවට පත්කරගෙන සිටින වාමාංශිකයන් සහ වෘත්තීය සමිති නායකයන් මෙහිදී කලබල විය. තමනට අනුව ශ්‍රීලනිප යේ වාමාංශය නියෝජනය කරන මහින්ද ජාතිවාදීන්ගේ කොන්දේසි වලට යටත්ව ගිවිසුමක් ගැසීම ඔවුන්ගේ හදවත සසළ කළේය. එවිට මහින්ද අයියා මෙසේ කීවේය.

‘‘කලබල වෙන්න එපා. ඉස්සෙල්ලම ඡන්දය දිනාගෙන ඉන්න එපැයි. ඊට පස්සෙ නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.’’ වම නොදැන සිටියේ මහින්ද කාටත් දුන්නේ ඔය සහතිකය බවය. කොහොමින් කොහොමින් හෝ මහින්ද කෙස් ගහින් දිනුවේය. මුලින් කළ යුත්තේ කොහොම හරි දිනා ගැනීම බවත් ඊට පස්සේ එන හැටියට මුහුන දිය හැකි බවත් කී මහින්දගේ කතාව නිවැරදි බව ඔප්පු විය. ඡන්දයෙන් පසු විරුද්ධ පක්ෂ සියල්ලම නාය ගිය අතර ඒවා සම්ප්‍රදායෙනුත් කොටස් වශයෙනුත් ආණ්ඩුවට එක්වී ඇමතිකම් ලබාගත්තේය. දැන් කාටවත් ‘‘ සාමය ’’ මතක නැත. ‘‘ ෆෙඩරල් ’’ මතක නැත. ‘‘ ආර්ථිකය ’’ මතක නැත. ‘‘ප්‍රජාතන්ත්‍රවාදය’’ මතක නැත. කොටින්ම සමහරුන්ට තමා කලින් කොන්ඩය පීරපු විදියද මතක නැත.

සහෝදර සමාගම ප්‍රාග්ධන සමුච්ඡනය කරන අතර හැම දෙනාම තමන්ට හැකි පමණින් ජාතික ධනය භුක්ති විඳිති. කලින් කිව් පරිදිම මහින්ද පළමුව කෙසේ හෝ බලයට පැමිණ දැන් තමන්ට අනුව නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි.

දැන්, එක්සත් ජාතික පක්ෂයට සිදුවූයේ කුමක්ද ? වසර 11 ක් විරුද්ධ පක්ෂයේ හිඳ රාජ්‍ය බලය ලබාගන්නට තිබුණු අවස්ථාව නූලෙන් මිස් වූ පසු එම පක්ෂය තුළද විවිධ විපර්යාසයන් සිදුවිය. පළමුව එම පක්ෂයේ හිතවතුන් වශයෙන් සිටි මාධ්‍යවේදීන්ද, සිවිල් සමාජ නායකයින්ද මහින්දගේ පැත්තට ගියේය. දෙවනුව පක්ෂයේ පතුරු ගැලවී නියෝජ්‍යය නායකයා ද ඇතුව මන්ත්‍රිවරු රොත්තක් ආණ්ඩුවට එකතුවිය. තෙවනුව පක්ෂයට පණ දෙන්න වුනත් සිටි ව්‍යාපාරිකයින්ද, මාධ්‍ය ආයතනද මහින්දගේ පැත්තට ගියේය. පක්ෂය තුළ ඉතිරි වූ පිරිසත් යම්දෝ නොයම්දෝ කියලා සිතුණි මට කියමින් බලා සිටින අතර, ඉතිරි අය කල්පනා කරන්නේ කොයි විදියකින් හෝ බලය ලබා ගන්නේ කෙසේද කියාය.

තවදුරටත් ප්‍රතිපත්ති කියා දෙයක් නැතැයි කියන තත්වයට පත්වූ පසු කරන්න බැරි දෙයක් ඉතිරි නොවේ. ඒ නිසා ෆෙඩරල් වාදීන්ගේ සිට ත්‍රස්ත විරෝධීන් දක්වා සියළුදෙනා එකට දමාගෙන කෙසේ හෝ බලය ලබාගැනීමට මහන්සි වෙයි. ඔවුන් තම පරාජයට හේතුව ලෙස දකින්නේ අධිෂ්ථාන සහගත වැඩපිළිවෙලක් ඇතිව මහජනයා සංවිධානය කිරීමට ඇති නොහැකියාව නොවේ. ඔවුන්ට අවශ්‍ය 2005 දී මහින්ද විසින් කළ දේ අද රනිල් ලවා කරවීමටය. වෙනත් වචනයකින් කිව්වොත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ බවට රූපාන්තරණය කර ගැනීමටයි.

සන්නස්ගල වැනි විහිළු චරිත ජාතික දේශපාලනයට ගෙන එන්නේ මොවුන් විසිනි. එසේ කිරීමට ගොස් ඇණ ගැනීම නිසා වළක වැටීමෙන් මොළයට ලාභයක් වන අයුරින් දේශපාලනයට යහපතක් විය. මෙවැනි අමුතුම ආකාරයේ පූට්ටු කිරීම් කරන කේවට්ට පුරෝහිතයන් හැඳින්විය යුත්තේ නව උපයෝගිතාවාදීන් ලෙසය. ඔවුන්ට අනුව දේශපාලනයේ තව දුරටත් පරමාදර්ශ නැත. ඇත්තේ ඒ මොහොතේ නිවැරදි දේ කිරීමයි. ඊළඟ මොහොතේ සම්පූර්ණයෙන්ම යූ ටර්න් එකක් ගසා කළින් කළ දේට ප්‍රතිවිරුද්ධ දෙයක් කළ හැකිය. මේ ජෝකර් මහත්වරුන්ටත් ඔවුන් පුම්බන කේවට්ටයන්ටත් එක දෙයක් කිව යුතුය. අලූතෙන් හදන්නෙත් පරණ එක වැනි ආණ්ඩුවක් නම් මහජනයා ඒ වෙනුවෙන් කඬේ යන්නේ කුමකටද ? එබැවින් දිගින් දිගටම ඔවුන්ට ‘ජනතාව’ බලමුලූ ගැන්විය හැකිවනු ඇත්තේ වනාතෙ’ න් කුළියට මිනිසුන් ගෙන ඒමෙන් පමණි.

පැරණි ජනකථාවක අර්ථය මඳක් වෙනස් කර ගැනීමෙන් ඉහත තත්ත්වය තේරුම් ගැනීමට උපකාරයක් ලැබේ. එකමත් එක රටක මහළු සිංහයෙක් වාසය කළේය. ඔහුට දැන් දඩයම් කර ගැනීමට අපහසුය. ඔහුගේ පුරෝහිත තනතුරට සෙට් වූ නරියෙක් අලූත් සැලැස්මක් ඉදිරිපත් කලේය. ඒ අනුව වනයේ ජීවත් වන ගොනෙකු නරියා විසින් සිංහයා වෙත කැඳවා ගෙන එනු ලැබේ. ඒ ගොනාට සිංහයාගේ මහ ඇමති කම දීම පිණිසය. ප්‍රීතියෙන් පිනා යන ගොනා සිංහ භවනට පැමිණෙයි. බඩගින්නේ සිටි සිංහයා ඉවසිල්ලක් නැතිව ගොනාගේ පිටට කඩා පනී. බිය වන ගොනා පැන දුවයි. තම සැලසුම ගැස්සී යෑම ගැන ලැජ්ජා නොවන පුරෝහිත නරියා නැවතත් ගොනා හමුවට ගොස් කියන්නේ සිංහයා විසින් කරන පිළිගැනීමට බියවී ගොනා පැන ආ එක වරදක් බවයි. මේ ලස්සන කථාවට වශීවන ගොනා නැවතත් සිංහයා වෙත යයි. මෙවර හොඳට කල්වේලා ගන්නා සිංහයා ගොනා මරා දමා ආහාර අනුභවයට පෙර දිය නෑමට යයි. දිය නා ආපසු පැමිණෙන සිංහයා දකින්නේ ගොනාගේ මොළය අතුරුදහන් වී ඇති බවයි. බඩජාරී නරියා එය කා දමා ඇත. එවිට නරියා මෙසේ කියයි. ‘‘ ඇයි දේවයන් වහන්ස මේ ගොනාට මොළයක් තිබුණා නම් දෙවැනි පාරටත් ඔබතුමා ළඟට ඒවිද ?

’’මේ කථාව වර්තමානයට ගැළපූ විට පළමු වටයේ රැවටී ඇත්තේ සිංහයාය. මෝඩ කේවට්ටයන් දෙවන වතාවටද සිංහයා රැවටීමට උත්සාහ ගනු ඇත. නැවත වරක් රැවටුනොත් මොළය තිබේදැයි පරික්ෂා කරගත යුතු වන්නේ සිංහයාය. මේ කතාවේ පූර්වාපර සන්ධි ගළපා අවස්ථා සම්බන්ධය සෙවීම පාඨකයන්ට භාර කරමි

Tuesday, June 24, 2008

ජේ.සී. වැලිඅමුණ
මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥ

යම් යම් මතභේදයන්ට තුඩු දී තිබෙන මේ ජනාධිපති කොමිසම පත්කිරීමේ මුලික පරමාර්ථය කුමක්ද ?
පසුගිය කාලයේ රටේත්, ජාත්‍යන්තර ප්‍රජාවගේත් ලොකු කතිකාවතක් ගොඩනැඟුණා ලංකාවේ සුවිශේෂී ගණයේ පැහැරගැනීම්, අතුරුදහන්වීම්, මිනීමැරීම් සිදුවීම පිළිබඳව. මේ පිළිබඳව රජයත්, පොලීසියත්, නීති ක්‍රියාත්මක කරන අංශත් සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වුණා. ඒ පසුබිම මතයි මේ කොමිසම පත් කිරීම සිදුවුණේ.

මේ ජනාධිපති කොමිසම් සභාව රජයේ සැබෑ වුවමනාව මත පිහිටවුවක් නොවේ යැයි කිව්වොත් ....
ජාත්‍යයන්තර අධිකරණයක් මඟින් පරීක්ෂා කළයුතු තරමේ ප්‍රබල මානව හිමිකම් කඩවීම් ඇති නිසා මෙයට ජාත්‍යයන්තර මැදිහත්වීමක් තිබිය යුතු යැයි ජාත්‍යයන්තර ප්‍රජාව දැඩිව කියා සිටියා. එහිදී ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා රජය කැපවීමකින් යුක්තව හා ස්වාධීනව මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කටයුතු කරන බව ලෝක ප්‍රජාවට පෙන්වන්න.

මෙහිදී පරීක්ෂණයට ගැනීමට තීරණය කළේ කුමන ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනයවීම්ද ?
ප්‍රධාන වශයෙන් සාමුහික මිනීමැරුම් කිහිපයකුත්,ප්‍රධාන පුරවැසියන් කිහිපදෙනෙකුගේ ඝාතනත් ඇතුළුව සිදුවීම් 16ක් පරීක්ෂණයට යෝජනා වුනා. එහිදී රජයට ඕන වුණා කදිරගාමර් ඝාතනය වැනි එල්ටීටීඊය විසින් සිදුකෙරුනු ඝාතන කිහිපයකුත් මීට අදාළ කරගන්න.

මෙම කොමිසම් සභාවේ වැඩකටයුතු පරීක්ෂා කිරීමට ජාත්‍යයන්තර ස්වාධීන අද්විතීයයන්ගේ කණ්ඩායමක් පත්කළා.
ඔව්. නමුත් ජාත්‍යයන්තර අද්විතීයයන්ගේ කණ්ඩායම කියලා සංකල්පයක් ලෝකෙ කිසිම අවස්ථාවක භාවිතා කර නැහැ. ජනාධිපතිතුමාට අවශ්‍යය වුණා මේ කොමිසම පත් කළාට පස්සෙ එහි වැඩ කටයුතු ජාත්‍යයන්තර ප්‍රමිතීන්ට හා විනිවිද භාවයකට අනුකූලව සිදුවෙන බව පෙන්වීමට. ඒ අනුව මෙම අද්විතීයන්ගේ කණ්ඩායම හඳුනාගෙන ලංකාවට එන ලෙස ඔහු ඔවුන්ට ආරාධනා කළා.

නමුත් අද්විතියයන් සිය අවසන් වාර්තාවෙන් පැහැදිලිව කියා සිටියා කොමිසමේ වැඩ කටයුතු එම පිළිගත් විනිවිදභාවයෙන් හා ප්‍රමිතියෙන් තොරව සිදුවු බව.
අද්විතීයයන් ලෙස රජයේ ආරාධනයෙන් ලංකාවට පැමිණි මේ කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතාම කීර්තිමත් පුද්ගලයෝ. ඔවුන් නොයෙකුත් අවස්ථාවලදී කියා සිටියා කොමිසමේ ක්‍රියා කලාප ප්‍රශ්ණ සහගතයි කියලා. රජය යම්කිසි විදිහකින් බලාපොරොත්තු වුනානම් තමන් ගෙන්වපු අද්විතීයයන්ගේ කණ්ඩායම රජයට පක්ෂව වාර්තාවක් දෙයි කියලා එහෙමනම් ඒක විහිළුවක්. රජයට පක්ෂවුනේ නැහැ කියලා ඇත්ත ප්‍රතික්ෂේප කරන්න රජයට හැකියාවක් නැහැ.

ජනාධිපති පරීක්ෂණ කොමිසමක තිබිය යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන් මොනවාද?
මානව හිමිකම් උල්ලංඝණයන් පරීක්ෂා කිරීම පිළිබඳව පවත්නා එකඟතා. ඒක නොයෙකුත් ප්‍රඥප්තිවල සඳහන් වෙනවා. කොමිසම ඉදිරියේ පෙනී සිටින සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විධායකයේ මැදිහත් වීමකින් තොරව සාක්ෂි මෙහෙයවීම, කොමිසමට පත් කරන පුද්ගලයෝ ස්වාධීන වීම. මානව හිමිකම් කඩවීම් වලට චෝදනා එල්ල විය හැකි පාර්ශ්වයන්ට විරුද්ධ ව කෙරෙන චෝදනා විමර්ශනය කිරීමේදී රජය එයට බාධා නොකිරීම ආදී එම ප්‍රමිතීන් කිහිපයක් තිබෙනවා.

කොමිසමේ සාක්ෂි මෙහෙයවීමේදී වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හා සමාජයේ මේ පිළිබඳ උනන්දුවක් දැක්වු අයගේ සහභාගීත්වය දුර්වල මට්ටමක තිබුණා.
ඒක දුර්වල මට්ටමක් නෙවෙයි. මේක ලංකාවේ පළමු අත්දැකීම. දකුණු අප්‍රිකාවේ ට්රූත් කොමිසම ක්‍රියාත්මක වෙනකොට එරට රජයට සැබෑ දේශපාලන උවමනාවක් හා කැපවීමක් තිබුණා සත්‍යය අනාවරණය කරගන්න. නමුත් ලංකාවේ එවැනි දේශපාලන කැපවීමක් නැතිව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ”ස්කෝර්” කරන්න යන පසුබිමක් තුළ එවැනි සැබෑ දේශපාලන වුවමනාවක් තිබුනා යැයි කියන්න බැහැ. අභියෝග රැසක් තිබුනත් සැළකිය යුතු සාක්ෂිකරුවන් කොටසක් හා පිළිගත් සිවිල් සංවිධාන සංඛ්‍යාවක් මීට සහභාගී වුනා.

වින්දිතයන්ගේ හා අනෙකුත් සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පිළිගත හැකි සහතිකයක් තිබුනේ නැහැ
ඔව්. එම තත්ත්වය උඩ වින්දිතයන් හා සාක්ෂිකරුවන් කොමිසම ඉදිරියට පැමිණීමට අනිවාර්යෙන්ම බයයි. ඒකට හේතුව වින්දිතයින්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිඳු සහතිකයක් රජයෙන් ඉදිරිපත් නොවීම. යාපනයේ හා මඩකලපුවේ සිට පැමිණි සාක්ෂිකරුවන්ට නැවත එම ප්‍රදේශවලට යාමට හැකිදැයි සැකයක් ඇති විට සක්ෂි දීමට පැමිණීම ගැටලූ සහගතයි. යම්කිසි දුරකට ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව මේ කොමිසම උනන්දු වුවා. විශේෂයෙන්ම මේ කොමිසමේ සිටි සමහර නිලධාරීන් වින්දිතයන් ආරක්ෂා කිරීමට යම්කිසි සාධාරණ උත්සාහයක් කළ බව මම පිළිගන්නවා. නමුත් එය කොමිසමට පමණක් කළ නොහැකියි. හමුදාවේත් යුතුකමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කොමිසමට සහයෝගය දීමට. නමුත් ඔවුන් කළේ නීතිඥවරයෙක් පත්කරගෙන ඔහු මාර්ගයෙන් වින්දිතයින්ගෙන් ප්‍රශ්ණ ඇසීම. එහිදී කෙළින්ම හමුදාව ප්‍රශ්ණ අහනවා යැයි කියන අදහසක් වින්දිතයින් අතර තිබුනා. නිතීඥයා ප්‍රශ්න අහනවා කියන්නෙත් හමුදාව ප්‍රශ්ණ අහන එකමයි.

කොමිසමේ පරීක්ෂණ කටයුතුවල විනිවිඳභාවය ගැන ප්‍රශ්ණ කිරීමට සාක්ෂිකරුවන්ට හා සමාජයේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට හැකියාවක් තිබුනේ නැහැ.
යම්කිසි සීමිත අවස්ථා තිබුනා. නමුත් එය ප්‍රමාණවත් නැහැ.

ඉතා වැදගත් සාක්ෂිකරුවන් පරීක්ෂණ සඳහා කැඳවීමට ආරක්ෂක අංශ සැබෑ උවමනාවකින් කටයුතු කළේ නැති බවට චෝදනා එල්ල වෙනවා.
ආරක්ෂක අංශවල නෙවෙයි ගැටලූව. ඇතැම් සාක්ෂිකරුවන්ට කොමිසම ඉදිරියට ඒමේ අපහසුතා තිබුනා. ඇතැම් අය සැටලයිට් ක්‍රමයට සාක්ෂි දුන්නා. නමුත් සමහරෙකුට එවැනි ක්‍රියාමාර්ගවලට යාමේ හැකියාවක් තිබුනේ නැහැ. මෙහිදී සිදුවුණේ නිශ්චිත නොවන ස්ථානවල සිට සාක්ෂි දීමේ පහසුකම් ලබා දීම වෙනුවට, ජනාධිපතිතුමා සල්ලි නැතිකමෙන් මේක කරන්න බැරි බව පැවසීම නිසා සාක්ෂිකරුවන්ට සාක්ෂිදීමට තිබු ඉඩකඩ ඇහිරී යාමයි.

නිශ්චිත නොවන ස්ථානවල සිට දෙන එම සාක්ෂිවල සත්‍යභාවය පිළිබඳව ගැටලූවක් මතුවන්නේ නැද්ද?
අප එය පරීක්ෂා කළ යුතුයි. කෙනෙක් දෙන හැම සාක්ෂියක්ම පිළිගන්න බැහැ. ඒකට තමයි විනිසුරුවන් ඉන්නේ. සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්ණ අහන්න අවස්ථාවක් තියෙනවා නම්, පත් කරලා තියෙන කොමසාරිස්වරුන්ට ඇත්ත සාක්ෂි මොනවාද බොරු සාක්ෂි මොනවාද කියලා හඳුනා ගන්න පළපුරුද්දක් තියෙනවා නම් ගැටලූවක් නැහැ. මෙහිදී මොනයම් ආකාරයකින් හෝ සාක්ෂිදීමේ පහසුව සාක්ෂිකරුවන්ට සැලසිය යුතුව තිබුනා. කොටි පාලන ප‍්‍රදේශවල සාක්ෂිකරුවෝ පෝස්ට් මෝට්න් වලටවත් සහභාගී වුනේ නැහැ.

එම තත්ත්වය සාක්ෂිකරුවන් කොමිසම ඉදිරියට පැමිණීම දුර්වලවීමට හේතුවක් නේද ?
ඔව්. මම හිතනවා ඒකත් හේතුවක් කියලා. අනෙක ඊට අමතරව සාක්ෂිකරුවන්ට කොමිසම ඉදිරියට ඒමට තරම් විශ්වාසයක් හා අදාළ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නොතිබීම ප්‍රබල හේතුවක්. යම්කිසි දුරකට මිනිස්සු මේ පිළිබඳව දැනගෙන සිටියා. නමුත් කොමිසම ඉදිරියේ ඔවුන් පෙනී සිටීම අඩු වුණේ ප්‍රචාරය අඩුවීමට වඩා ඔවුන්ට තිබෙන ආරක්ෂාව අඩුවීමත්, විශ්වාසය නොමැති වීමත් කියලා මං හිතනවා.

කොමිසමේ පරීක්ෂණ කටයුතු කොළඹින් පිට සිද්ධීන් වු ප්‍රදේශවල පැවැත්විය යුතුයි කියා මතයක් ගොඩනැඟුනා.
ඒක රජයේ වගකීමක්. යම් අවස්ථාවක කොමිසම එම ප්‍රදේශවලට යාමට තීරණය කළානම් එහිදී සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්න තිබුණා. නමුත් අපි හිතමු කොමිසම යන්නේ X කියන ප්‍රදේශයට කියලා. එතකොට X ප්‍රදේශය අවට ඉන්නේ හමුදාව හෝ යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් නම් කොහොමද සාමාන්‍ය පුරවැසියෝ සාක්ෂිදෙන්න එන්නේ. එම නිසා කොළඹට පැමිණ සාක්ෂි දීම සුදුසුයැයි කෙනෙක් කියන්න පුළුවන්. නමුත් වින්දිතයන්ට කොළඹට එන්න පහසුකම් නැත්නම් ඇත්තටම ඔවුන්ට කොහේදි හෝ සාක්ෂි දීමේ හැකියාවත් නැතිවෙනවා.

සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හා ඔවුන්ගේ සාක්ෂි යම් යම් අවස්ථාවලදී හෙළිදරව් වීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක් වුනා.
ඔව්. එයින් වැටහෙන්නේ ලංකාවේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රමවේදය ප්‍රමාණවත් මදි කියන එකයි.

ආරක්ෂක අංශවලට විරුද්ධව නැඟුනු චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි දීමේදී සිදුවීම් විස්තර කිරීමට වඩා තමන් කිසිවක් නොදන්නා බව හැඟවීමට ආරක්ෂක නිලධාරීන් උත්සාහ කළා.
ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කිසිම හමුදාවක් තමන් වරදක් කළ බවට සාක්ෂි දෙන්නේ නැහැ. එතනදී තමයි අපිට පරවේශනීය සාක්ෂි රැස්කරගැනීම අවශ්‍ය වන්නේ.

රජය මෙම කොමිසම පවත්වා ගෙනයාමට වෙන් කළ මුල්‍යමය ප්‍රතිපාදන පිළිබඳව කිසිසේත්ම සෑහිමකට පත් විය නොහැකියි.
මෙම කොමිසම පමණක් නොවෙයි ලංකාවේ අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුලූ සියලූ කොමිසම්වලට හා ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකිවී තිබෙන්නේ ඔය අර්බුදය මතයි. රජය කොමිසම් පිහිටුවීම නිසියාකාරව සිදු කරනවා. නමුත් භාණ්ඩාගාරයෙන් ඊට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන ලබා නොදීම තුළින් ඒවායේ කටයුතු පාලනය කරනවා. මෙම කොමිසමට සිදුවුනෙත් එයමයි.

ස්වාධීන අද්විතීයයන්ගේ කණ්ඩායම සිය නිරීක්ෂණ කටයුතු සඳහා මෙරට ගතකළ කාලය තුළ රජය ඔවුන් සමඟ පැවැත්වුයේ ඉතා දුරස්ථ සබඳතාවක් බවට ඔවුන් චෝදනා කරනවා.
රජය කළේ එන්න කියලා ගැහුවා වගේ වැඩක්. ඔවුන් මෙහි පැමිණියේ යම් විශ්වාසයක් මත. නමුත් රජය තමන්ට පක්ෂව ප්‍රකාශ නිකුත් නොකිරීම නිසා ඔවුන්ව නීතිපතිවරයා හරහා අර්බුදයකට තල්ලූ කරලා දැම්මා. නීතිපතිවරයා හරහා රජය ගැටුමක් නිර්මාණය කළා. අද්විතීයයන් ආවේ ඔවුන්ගේ උවමනාවකට නෙවෙයි. රජයේ ආරාධනාව මත. එහිදී රජයට අද්විතීයයන්ගේ නිර්දේශ පිළිගන්න හැකියාවක් නැතිනම් ඔවුන්ට නිරීක්ෂණය සඳහා ආරාධනා නොකරන්න තිබුණා. එයට අමතරව රජයට සම්බන්ධ ජාතිවාදී කණ්ඩායම් ඔක්කොම අද්විතීයන් තුට්ටු දෙකේ තත්ත්වයට පත්කර ඔවුන්ට නින්දාවන ලෙස රජයේ මාධ්‍යය පාවිච්චි කරලා කටයුතු කලා.

කොමිසමේ පරීක්ෂණ සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ අයුරු දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා.
නීතිපතිවරයා විවිධ ප්‍රකාශ නිකුත්කරලා අද්විතීයයන්ගේ කණ්ඩායම අභියෝගයට ලක් කිරීම නීතිපති ධුරයට සුදුසු නැති බවයි මගේ මතය. නීතිපතිවරයාට මේ පරීක්ෂණ වලට සම්බන්ධව කටයුතු කරන ලෙස ආරාධනා කළේ මෙම කොමිසම. ඔහු බලෙන් පැමිණියේ නැහැ. එමනිසා නීතිපතිවරයාත් මෙයට ආගන්තුකයෙක් නෙවෙයි. ආරාධනා ලැබු උපදේශකයෙක්. ප්‍රශ්නය ඔහුට පැවරුණ ජාතික කාර්ය භාරය ඉටු කිරීමට යාමේදී ගැටුමක් නිර්මාණය කරගැනීමයි.

කොමිසමේ පරීක්ෂණ කටයුතු වලට රාජ්‍ය ආයතනවල සහයෝගය ලබාදීම ප්‍රමාණවත් නොවන බවට චෝදනාවක් එල්ල වෙනවා.
ඇත්ත, මම හිතනවා ප්‍රමාණවත් මදි කියලා.

කොමිසමේ පරීක්ෂණ අවසන්වු පසු ගතහැකි පියවර කුමක්ද?
මෙය අධිකරණමය ක්‍රියාදාමයක් නෙවෙයි. මෙය තොරතුරු සොයා ගැනීමේ ක්‍රියාදාමයක්. අවශ්‍ය තොරතුරු සොයා ගත්තා නම් නීතිපතිවරයා විසින් ඔවුන්ට විරුද්ධව මහාධිකරණයට අධිචෝදනා බාරදිය යුතුයි. මෙතැනදී පළමුව ඒ අය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහට කටයුතු කරලා දෙවනුව මහාධිකරණ නඩුවකට ගිය පසු එහි පැමිණිල්ල මෙහෙයවිය යුත්තෙත් නීතිපතිවරයා. අර්බුදය නිර්මාණය වන්නේ එතනදි.

කොමිසමේ ස්වාධීනතාවය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
17 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවීම කොමිසමේ ස්වාධීනතාවය කෙරෙහි දැඩිලෙස බලපානවා. එසේ ක්‍රියාත්මක වුනා නම් පොලීසිය පැහැදිලිවම ස්වාධීන වෙනවා. එවිට කොමිසමට නිලධාරීන් පත්කිරීම පොලිස්පති අතින් සිදුවන්නේ නැහැ. එවිට එය ස්වාධීන පොලිස් කොමිසමක් මඟින් සිදුවෙනවා. එසේ පත්වන නිලධාරීන්ට පුලූවන් කොමිසම තුළ කොන්ද කෙළින් තියාගෙන වෙන කිසිම බලපෑමක් නැතිව අවශ්‍යය සාක්ෂි සොයාගෙන එන්න.
නමුත් අද සිදුවී තිබෙන්නේ කෙලින්ම ජනාධිපතිවරයා තෝරා ගන්නා පුද්ගලයන්ගෙන් සමන්විත, බැලූ බැල්මට ස්වාධීනත්වයක් නොපෙනෙන පොලිස් කොමිසමක් පිහිටුවීම. මගේ හැඟීම අනුව ලංකාවේ පොලිස් නිලධාරීන්ගෙන් සියයට 80 ක් කැමතියි ස්වාධීනව කටයුතු කරන්න.

කොමිසමේ පරීක්ෂණ කටයුතු සිදුවන්නේ මන්දගාමීවයි කිව්වොත් ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
එය විවිධ අය විවිධ ආකාරයට දකින්න පුළුවන්. මුල්‍යමය ප්‍රතිපාදන හිඟකම. පරීක්ෂණ සඳහා සිදුවීම් 16 ක් තිබීම. කාර්ය මණ්ඩලය අඩුවීම, නීතිඥවරුන් සහභාගී වීමේදී සිදුවන දීර්ඝ ප්‍රශ්ණ කිරීම් සඳහා දිගු කාලයක් ගතවීම කොමිසමේ කටයුතු මන්දගාමීව සිදුවීමට හේතුවෙනවා.

ඔබේ හැඟීම ජනාධිපති කොමිසම අසාර්ථකයි කියලාද ?
සෘජුවම එහෙම කියන්න බැහැ. නමුත් අපේක්ෂිත පැත්තට නෙවෙයි එය ගමන් කරන්නේ. මේක පරීක්ෂණ කොමිසම් සභාවක් නම් ඒකේ අරමුණ වෙන්න ඕන සත්‍ය සොයා යෑම. කොමිසමට ඕන වුනත් ස්වාධීනව කටයුතු කරන්න, රටේ පවතින තත්ත්වය උඩ රජය හා හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඊට බාධා කළ හැකි හැම පියවරක්ම ගත් බවයි පේන්නේ. මුලින්ම අද්විතීයයන්ගේ කණ්ඩායමක් ගෙන්වලා ඔවුන්ව ආපසු යන තත්වයට පත් කළා. ඉන්පසු හමුදාව නීතිඥවරයෙක් යොදවාගෙන කොමිසමේ සාක්ෂිකරුවෝ මඩවන්න පටන් ගත්තා. හමුදාවේ අදහස මෙය ඔවුන්ට විරුද්ධව කරන පරීක්ෂණයක් කියලා. නමුත් මම හිතන්නේ ඇත්ත දැන ගන්න එක හමුදාවටත් හොඳයි.

අද්විතියයන්ගේ නික්ම යාමෙන් පසු කොමිසමේ කටයුතු නිරීක්ෂණය සඳහා යළිත් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යද?
නැහැ. කොහෙත්ම අවශ්‍ය නැහැ. කවුරුහරි බලාපොරොත්තු වෙනවා නම් පිටරටින් ඇවිත් මෙය නිරීක්ෂණය කළ යුතුයි කියලා එය මිත්‍යාවක්. මේ රටේ පුරවැසියන්ටත් පුළුවන් මෙම කොමිසමේ කටයුතුවල විනිවිදභාවය හා ප්‍රමිතිය පිළිබඳව නිරීක්ෂණය කරන්න. එය ඔවුන්ගේ සමාජ වගකීමක්.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් හා අද්විතීයයන්ගේ නික්ම යාම සම්බන්ධයෙන් දැක්වු ප්‍රතිචාරයන් පිළිබඳ ඔබේ හැඟීම.
කොහෙත්ම සතුටුවෙන්න බැහැ. අද බොහෝ මාධ්‍යවල ඇති ප්‍රබලම ගැටලූව සෘජුව හෝ වක්‍රව බලපෑම්වලට යටත් වීමට සිදුවීම. අනෙක් අතට මාධ්‍යවල ඇතැම් අය අවංකව විශ්වාස කරනවා යුද්ධයක් පවතින වෙලාවක මෙවැනි දේ ප්‍රශ්ණ කිරීම නොකළ යුතුයි කියලා. මේ තත්ත්වය කොතරම් බරපතලද කියලා දැන ගන්න නම් ලංකාවෙන් පිට රුවන්ඩාව වැනි රටවල වර්ග ඝාතනයන් සිදුවු ආකාරයන් කියවලා බලන්න. ඒ සියලූ සමූල ඝාතන, වර්ග ඝාතන වලට පසුබිම සකස් කළේ මාධ්‍ය.

මේ කොමිසම පිළිබඳව උනන්දුවක් දැක්වු සිවිල් සංවිධාන මර්දනය කිරීමට රජය දැඩි උත්සාහයක් ගන්නවා.
ඒක දුර්වල හා අසාර්ථක හැම රාජ්‍යයකම පොදු ලක්ෂණයක්.

BACK TO HOME PAGE

Monday, June 16, 2008

rightsnow1

ARE YOU READY…?

To serve humanity!

If you are a graduate or an undergraduate, who is keen to serve humanity and learn about Human Rights, here is an opportunity for you to join the internship programme of a reputed local human rights organization for a period of three months.
This Internship programme you will offer you to learn about day today work of a human rights organization and to receive in depth theoretical and practical understanding of Global and Local Human Rights issues.
We are recruiting two groups on the basis of full time and part time. This course will be conducted Free of Charge. The expenses for their food and traveling should be borne by the participants. Those who are in need can request for a living expense allowance.
Internship period will be from-14.07.2008 to 15.10.2008
If you are interested to participate in this training please send your application with a bio data reach us before 30th June 2008.

Postal Address:
Coordinator,
Internship Programme,
24/13,
Vijayaba Mawatha,
Off Nawala Road,
Nugegoda

Telephone:
077-952 2887
011-282 2375

E mail: rightsnow@gmail.com, rightsnowcfd@yahoo.com
Blog site: http://www.rightsnowcollective.blogspot.com